Wednesday, June 3, 2020

පූර්විකාව


Add caption
බුදු දහම වූ කලී, පුද්ගල සන්තානයේ යථාර්ථයයි. පුද්ගලානුබද්ධ හැඟීම්, රස විඳීම්, ආකල්ප මතින් නිර්මාණය වන ලෝකය වෙත ධනාත්මක අර්ථකතනය සපයන දර්ශනය වශයෙන් බුදු දහම සමස්ත ලෝක ප්රජාව යහමග පෙන්වයි. ලොව දැවෙමින් පවතින විවිධ වූ මුහුණුවරයන් , පැහැයන් හා හැඩතලයන් ධර්මය නැමැති වර්ෂාවෙන් නහවා සනසවාලන දහම පුද්ගල සන්තානයේ නිර්මාණය කරන්නා වූ විප්ලවය තුළින් සමස්ත සමාජයම යහමගට ගන්වයි. මිනිසා තනිව ඉපදුණත් ජීවත් වන්නේ සමස්ත සමාජය සමඟය. එක් පුද්ගයෙකු මගින් සමාජගත වන ආකල්පය යහපත් හෝ අයහපත් අයුරින් විවිධ වූ බලපෑම් ඇති කරයි. එය යහපත් අයුරකින් නිර්මාණය වන්නක් නම් සමාජගත අනාගතය ද යහපත් වේ. අනාගත පුරුක් මළ නොබැදේ. නමුත් සමාජගත වන ආකල්ප ඍණාත්මක නම් ශක්තිමත් සමාජයක් වෙනුවට දුබල සමාජයක් නිර්මාණය වේ. බාහිරින් ශක්තිමත් සේ පෙණුන ද ඇතුළත පුස් නම් එහි අර්ථයක් නොමැත. තනි තනිව පුද්ගලයා යහපත් හා සදාචාරාත්මකව නිර්මාණය වන්නේ නම්, තනි තනිව නිර්මාණය වූ පුද්ගලයන්ගෙන් නිර්මාණය වූ සමාජය ද සාධාරණ සහ සදාචාර සම්පන්න සමාජයකි. එය සමාජයේ පවතින සියලු මහාමාර්ග, මං සන්ධි මෙන්ම අතුරු මාර්ග ද ශක්තිමත් කරයි. එවැනි ශක්තිමත් සමාජයක් උදෙසා පාර කියා දෙන බුදු දහමේ කරුණු සමාජගත කිරීම, දහමේ හසර දත් වුන්ගේ වගකීමකි. එම වගකීම ඉටු කරනු වස් මෙම ලිපි සංග්රහය නිර්මාණය කිරීමට උත්සුක විය. ඉදිරියට ද තවත් මෙවැනි කෘති කොටස් වශයෙන් නිර්මාණය වනු ඇත.
අන්තර්ගතය පිළිබඳ කෙටි සඳහනක් කිරීම උචිත යැයි සළකමි. ආර්ථිකය යනු වර්තමාන සමාජ රංගනයේ ප්රධාන චරිතය වී හමාරය. ලෝකයම වික්ෂිප්ත වී ඇති සියලු කරුණු සැකවින් බලන කළ එහි යථාර්ථය නම් ආර්ථික බලය තහවුරු කරගැනීමට අන් සියලු විෂයන් ග්රහනය කර ගැනීමය. දේශපාලනය, ආගම , මානව හිමිකම්, නීතිය, ත්රස්ත්රවාදය වැනි විවිධ වූ මාතෘකාවන් වෙත බීජය වී ඇත්තේ ආර්ථික බලය බව බුද්ධියෙන් විමසන්නෙකුට වැටහේ. එවන් බලවත් අංශයක් වන ආර්ථිකය තුළ අප සැවොම, එය මෙහෙයවන්නන්ගේ ඉත්තන් හා තුරුම්පුය එවන් බලවත් අංශයක් වන ආර්ථිකය තුළ අප සැවොම එය මෙහෙයවන්නන්ගේ තුරුම්පු සහ ඉත්තන්ය. පුද්ගල වශයෙන් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්යය වන්නේ ඒ නිසාය. සමාජගත වන මිනිසා තනි තනි වශයෙන් තම ආර්ථිකය ශක්තිමත් කර ගනියි නම් සමාජයම ශක්තිමත් කර ගත හැකිය. ධනය ඉපයීම අවශ්ය මුත් සමාජ සදාචාරයට පටහැනි නොවන අයුරින් ධනය ඉපයීම ප්රධානම කාර්ය වේ. සමාජයක විවිධ වූ ප්රශ්න හා සමාජ විරෝධී ක්්රයාවන් ඇති වන්නේ ධනය අනිසි ලෙස ඉපයීමට උත්සාහ කිරීම නිසාය. යහපත්ව ධනය ඉපයීම සමාජ සදාචාරය උදෙසා ඉතාමත් වැදගත් දෙයකි. උපයා ගත් ධනය බුද්ධිමත්ව පරිහරණය කිරීම නොවුණ විට දී ණය බරින් මිරිකී සමාජයෙන් පිරිහී යයි. පවුලම අපහසුතාවයට පත් වේ. එනිසා උපයා ගත් ධනය නිසි ලෙස පරිහරණය අගනා දෙයකි. ඒ සඳහා බුදු දහමේ ඉගැන්වීම් පළමු ලිපි දෙකෙහි සදහන් කර ඇත. අතීතයේ රාජ්යය පාලනය හා බුදුදහමේ බලපෑම තුන් වන ලිපියේ දිගහැරේ. මෙකල පැවති සංකල්ප බුදුදහමින් වෙන් වීමත් බුදු දහමේ බලපෑම නිසාවෙන් රාජ්යය පාලනය තුළ සිදුවන වෙනසත් ඉන් කියැවේ. විශේෂයෙන් පාලකයා බෞද්ධයෙකු විය යුතුය යන්න සේම කල් යාමේ දී පාලකයා බෝධි සත්ත්වයෙකු විය යුතු බව වැනි සංකල්ප ඒ තුළ විග්රහ වේ. ආදී ඉන්දියාවේ සත්යය සොයමින් ඇරඹි ශ්රමණ සම්ප්රදායෝ බොහෝ විය. ඒ පිළිබද සිව්වන ලිපියේ කියැවේ. බොහෝ ශ්රමණ සම්ප්රදායන් අතුරින් තෝරා ගත් සම්ප්රදායන් පහක් පිළිබද කරුණු ගෙන හැර දක්වයි. මන්ද ඒ පිළිබදව ඇති දත්ත හිග වීමයි. පස්වන ලිපියෙහි පන්සිල් පද පහ මගින් සමාජ විවරණයක් ඉදිරිපත් කරයි. බෞද්ධ මනෝ විද්යාව යනු මහා සාගරයක් බදු වූවකි. ඉන් දිය දෝතක් ලෙසින් බෞද්ධ මනෝ විද්යාව පිළිබද කෙටියෙන් හදුන්වා දීමක් ඊලග ලිපියෙන් කර ඇත. ආදි වෛදික සමාජයේ පටන් පැවත එන මහා පුරුෂ සංකල්පය බුදු දහමේ දී ද දිගහැරේ. හත්වන ලිපිය තුළදී මහා පුරුෂ සංකල්පය පිළිබව බෞද්ධ මතවාදය ගෙන හැර දක්වයි. බුදුන්ගේ පාදයට මහා පුරුෂ ලක්ෂණ තිස් දෙක අතුරින් අටක් හිමිවේ. අට වන ලිපියෙන් බුදුන්ගේ පාදය හා සැබදි ලක්ෂණ අට පිළිබදව සාකච්ඡා කරයි. නව වන ලිපිය මගින් දකුණු ආසියාවේ බෞද්ධ කලාවේ ප්රභවයට බලපාන ලද හේතු සාකච්ඡා කෙරේ. විශේෂයෙන් මෞර්ය යුගය පිළිබදව වැඩි අවධානයක් යොමු කොට ඇත. අවසාන ලිපිය දිගහැරෙන්නේ ප්රේමය වෙනුවෙනි. පංචසික සහ සූර්යවච්ජසාවගේ ප්රේමය පිළිබද පංචසික ගැයූ ගීතයේ සේනානන්ද ඉන්ද්රජිත් මාර්තිස් මහතාගේ සිංහල අනුවාදයට අනුව ප්රේමය වෙනුවෙන් එය දිගහැරේ.
මෙසේ ලිපි දහයකින් යුතුව මෙම කෘතිය ලිපි සංග්රහයක් වශයෙන් සමාජයට බලපාන විවිධ විෂයන් පිළිබදව බුදු දහමින් විග්රහයන් ගෙන හැර දක්වයි.එය සමාජගත මනුසතාගේ බුද්ධීයෙහි විමසුම වෙනුවෙන්මය.

No comments:

Post a Comment

TO BE A GOOD HUSBAND

                                                  The wife is the most trustful friend to a husband for his entire life after he got married...